යලි හැරවූ නොනවතින රැල්ල

යලි හැරවූ නොනවතින රැල්ල
==========================
1999 දෙසැම්බර් 11 වන දින එනම් කොටි මහාවීර දිනයෙන් සති දෙකකට පසු එල්ටීටීඊය යාපනය අර්ධද්වීපය අල්ලාගනීම සඳහා නොනවතින රැල්ල 3 මෙහෙයුම ආරම්භ කරනවා. අලිමංකඩ දකුණු අන්තයෙන් පරන්තන් මංසන්ධිය අත්පත් කරගන්නා ත්රස්තවාදීන් වෙත්තිලයිකර්නි, කඩ්ඩෙයිකාඩු, චැම්පියන්පත්තු සහ මුල්ලියාන් ප්රදේශ අල්ලාගනිමින් ඉදිරියට එන්නේ හමුදාවට විශාල හානියක් සිදුකරමින්. මේ සටන්වලදී යුධ හමුදාවේ කාලතුවක්කු විශාල ප්රමාණයක් අත්පත් කරගන්නා කොටි ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ද බිම හෙලන්නට සමත් වෙනවා.
ඒ සමඟම එල්ටීටීඊ සන්නද්ධ නායක බාල්රාජ් ත්රස්තවාදීන් 1200 සමග සටන් කරමින් ඉදිරියට පැමිණ ඒ 9 මාර්ගයේ පලෙයි සිට මුහමාලේ දක්වා සම්පූර්ණ ප්රදේශයම අල්ලා ගන්නවා. ඒ 9 මාර්ගය ඉදිරියට සටන් මෙහෙයවන ත්රස්ත නායකයන් සන්නාහ සන්නද්ධ බලකායේ යුධ ටැංකි රැසක් විනාශ කරමින් චාවකච්චේරි දක්වා අත්පත් කරගන්නවා. යුධ හමුදාව දුර්වල තත්වයකට පත්වන තුරු බලාසිටින කරුණා අම්මාන් තමන්ගේ අවසන් ප්රහාරය එල්ල කරනවා. අප්රේල් 21 වැනිදා අලිමංකඩ කඳවුරත් බිඳ වැටෙනවා. බාල්රාජ් අලිමංකඩ කඳවුරේ එල්ටීටීඊ කොඩිය ඔසවනවා. අවසානයේ තමන්ගේ සියලු ශක්තිය උතුරට යොදවන වේළුපිල්ලේ ප්රභාකරන් යාපනය අල්ලාගන්න සැලසුම් කරනවා.
මේ ප්රහාර මාලාවෙන් රජය තැතිගන්නවා. මේ වෙනකොට යාපනයේ ඉන්නවා ආරක්ෂක අංශ සාමාජිකයන් 40,000 ක්. මේ හැමෝගෙම ජීවිත තියෙන්නේ විශාල අනතුරක. තත්වය පාලනය කිරීමට යාපනය ආඥාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා යාපනයට යැවෙනවා. වහාම ක්රියාත්මක වන පරිදි රියර් අද්මිරාල් සරත් වීරසේකර උතුරු නාවික ආඥාපතිවරයා වශයෙන් පත්කෙරෙනවා. හමුදාව සතු අවිවලින් එල්ටීටීඊ නොනවතින රැල්ල නැවැත්වීමට නොහැකි බව තේරුම් ගන්නා රජය ඉන්දියාවෙන් ආධාර ඉල්ලනවා. නමුත් යුධ සහය දෙන්න අකමැති වෙන ඉන්දියාව පවසන්නේ යාපනයේ සිරවී සිටින සෙබළුන් කොළඹට රැගෙන ඒම සඳහා නැව් ලබාදිය හැකි බවයි ! මේ අතර දෙමල සන්ධාන මන්ත්රීවරු හමුදා සෙබළුන් 40,000ට මිනී පෙට්ටි සූදානම් කරගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී රජයට තර්ජනය කරනවා.
අවසානයේ ශ්රී ලංකා රජය පකිස්තානයෙන් ආධාර ඉල්ලනවා. පකිස්ථානු අගමැති ෆර්වේස් මුෂාරෆ් මල්ටි බැරල් රොකට් ලෝන්චර් රැගත් ගුවන් යානයක් ලංකාවට එවනවා. යුධ හමුදාව විසින් සකස්කරන මෙම ප්රබල අවි යාපනයට යැවීම හැකිවන්නේ මුහුදු මාර්ගයෙන් පමණයි. නමුත් මුහුදු කොටි වටලා සිටින යාපනය අර්ධද්වීපයට මේ ආයුධ රැගෙන යාම ඉතාම අවදානම් කටයුත්තක්. සිරවී සිටින සෙබළුන් 40,000කගේ ජීවිත මෙන්ම මුළු මහත් යාපන අර්ධද්වීපයේම අනාගතය රැඳිලා තියෙන්නේ මේ නාවික මෙහෙයුම මත. ඒකට අණදෙන්න ඉතාම දක්ෂ නිර්භීත නිළධාරියෙක් අවශ්යයි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මේ අභියෝගය බාරගන්නවා. රියර් අද්මිරාල් නිලයේ සිටින නිලධාරියෙක් මෙවැනි අවදානම් මෙහෙයුමක් සඳහා සහභාගි නොවන නමුත් ක්රියාන්විතයේ ඇති බරපතලභාවය තේරුම් ගන්නා ඔහු එම මෙහෙයුම පෞද්ගලිකවම භාර ගන්නවා. හමුදාව විසින් එකලස් කරන රොකට් ලෝන්චර් නිරීක්ෂණය කරන අද්මිරාල් වීරසේකර එම අවි සහ උණ්ඩ නාවික හමුදාව සතු විශාල ප්රවාහන නෞකාවකට පටවා ගන්නවා. නෞකාව වටා ආරක්ෂාවට ප්රහාරක යාත්රා කීපයක් යොදවන ඔහු අඳුර වැටෙනවාත් සමඟම තිරිකුණාමල වරායෙන් පිටත් වෙනවා. අතරමග මුහුදේ සටනකදී ආයුධවලට හානි සිදුවීම සහ අවි යුද හමුදාවට භාරදීම ප්රමාදවීම තුල යාපනය බිඳවැටිය හැකිබව තේරුම් ගන්නා මේ පරිණත නාවික නිළධාරියා කෙසේ හෝ මුහුදු කොටින්ට රහසේ යාපනයට ලඟාවියයුතු බව තම නාවිකයන්ට උපදෙස් ලබා දෙනවා. පැය කිහිපයකට ඉතාම රහසිගත නාවික ගමනකින් පසු මධ්යම රාත්රී 12ට කන්කසන්තුරේ වරායට පැමිණෙන සරත් වීරසේකර මේ ප්රබල අවි යුධ හමුදාවට බාර දෙනවා.
වහාම රොකට් ලෝන්චර් ට්රක් රථවලට සවිකරගන්නා කාලතුවක්කු හමුදාව ඒවා සටනට යවනවා. කොටින්ට සිදුවන්නේ තමන් කිසිදාක මුහුණ නොදුන් ප්රභල අවියකින් පහර කන්න. මල්ටි බැරල් ප්රහාරයට මුහුණ දීමට නොහැකිවන ත්රස්තයන් පසුබසින්නේ විශාල හානියක් සිදුකරගෙන. ඒ අතර ආපසු හැරෙන රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ නාවික බලඇණිය අලිමංකඩට නැගෙනහිර මුහුදේ සිට කොටින්ට බලවත් ප්රහාරයක් එල්ල කරනවා. එයින් ත්රස්තයන් සිය ගණනක් විනාශ වෙන අතර කොටි නායකයන් නැවත වන්නි කැලයට පලා යනවා.
ප්රභාකරන්ගේ යාපනය අල්ලා ගැනීමේ සිහිනය බොඳවෙනවා. මේ නිර්භීත සහ උපක්රමශීලී මෙහෙයුම මගින් තමන්ට විශාල ආධාරයක් කල සරත් වීරසේකර මහතා යුධ හමුදාවේත් නොමඳ ගෞරවයට පාත්ර වෙනවා.
Comments
Post a Comment